
මනෝවිද්‍යාත්මක උපදේශනය යනු කුමක්ද?
උපදේශනය (Counselling) යන්න අපට තරමක් නුපුරුදු කි‍්‍රයාවලියක් වුවද වර්තමානය වන විට එය ලාංකීය සමාජය තුළ ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වෙමින් පවතිනවා. උපදේශනය මගින් කිසිවිටෙක පුද්ගලයාට උපදෙස් දීමක් සිදු කරන්නේ නැහැ. උපදේශනයේදී පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කොට ඔහු ගේ ගැටලු හඳුනාගැනීමත්, එතුළින් සිය ගැටලුව නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබා දීමත් සිදු කරනු ලබනවා.
මානසික ගැටලු සඳහා උපදෙස් ලබාදීම මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological counselling) ලෙස හඳුන්වනවා.
උපදේශනය මුළුමනින්ම පාහේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක්. එහිදී පුද්ගලයා කෙබඳු තත්ත්වයක සිටියද ඔහු දෙස විවේචනාත්මකව බලන්නේ නැහැ.
ඔහු වරදකරුවෙකි ඔහු අපරාධකරුවෙකි ආදී ලෙසින් විනිශ්චයකට ලක්කරන්නේ ද නැහැ.
උපදේශනයේදී උපදේශනය සඳහා ලක් වෙන ඕනෑම පුද්ගලයෙකු ඉතා ගෞරවනීය පිළිගැනීමකට ලක් කරනු ලබනවා.
එමෙන්ම ඔහුගේ ගැටලු දෙස මානුෂවාදී මුහුණුවරකින් බැලීමත් එම ගැටලු විද්‍යාත්මකව විශ්ලේෂණය කොට ගැටලු වලට මුහුණ දීමට සහ ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ ශක්තිය ලබා දීමත් උපදේශනය මගින් සිදු කෙරෙනවා.
අපට උපදේශනය අවශ්‍ය වන්නේ ඇයි?
අතීතයේ තිබූ සරල ජීවන රටාව බොහෝ වෙනස්කම් වලට ලක්ව තියෙනවා. අප රට තුළ සිදුවූ සමාජ ආර්ථික පෙරළිය මිනිසා තුළ මානසික ගැටලු සහ මානසික රෝගාබාධ රැසක් නිර්මාණය කර තිබෙනවා.
විවිධ හේතුන් නිසා නූතන සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්ව තිබෙනවා.
ආතතිය, ක්ලමතය, විශාදය ආදී මානසික රෝග බොහොමයකින් ඔවුන් පීඩා විඳින අතර ඇතැමුන් මානසික ගැටුම් සහ මානසික ගැටලු නිසා සෞඛ්‍ය පිරිහී ගිය තත්ත්වයකට ලක්ව සිටිනවා.
පාසල් ළමුන් ප‍්‍රසිද්ධියේ ම කරනු ලබන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා විශ්ව විද්‍යාල සිසුන්ගේ නොයෙකුත් ගැටුම් ආදිය මීට නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්.
මෙසේ ඇති වී තිබෙන සමාජ පරිහානිය පුද්ගලයා සහ සමාජය කෙරේ බලපානු ලබන්නේ ඉතාමත් අහිතකර ආකාරයකින්.
එහෙයින් සමාජ අසහනය තුරන් කරලීමට නිසි ක‍්‍රමවේදයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මනෝ විද්‍යාත්මක උපදේශනය තුළින් සිදු කරනු ලබන්නේ එම කි‍්‍රයාවලියයි.
තමාට ගැටලුවක් පැන නැඟුන විට ඇතිවන සිත් තැවුල සහ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වය නිසා එය විසඳ්‍රගන්නා ආකාරය පිළිබඳ පුද්ගලයාට එතරම් වැටහීමක් ඇතිවන්නේ නැහැ.
එබැවින් තමන්ට කුමනාකාරයේ ගැටලුවක් තිබුණ ද එය විසඳා ගැනීම සඳහා ඔබ විධිමත් උපදේශනයකට යොමුවීම ඉතා වැදගත් කරුණක්.
උපදේශනය කා සඳහාද?
ජීවත් වීම යනු ප‍්‍රශ්නවලට මුහුණ දීම සහ ඒවාට විසඳුම් සෙවීම ලෙස දක්වන්න පුළුවන්.
බොහෝ පුද්ගලයින් විවිධ ප‍්‍රශ්න, ගැටලු හා රෝගාබාධ නිසා නිරන්තරව පීඩා විඳීනු ලබන නමුත් ඒවා විසඳා ගැනීම පිළිබඳ නිසි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.
දුක, වේදනාව, වෛරය, පළිගැනීමේ චේතනා, කලකිරීම, බිය සැකය ආදී චිත්ත වේගයන්ගෙන් පීඩා විඳින අය සඳහා උපදේශනය අත්‍යාවශ්‍යයි. එතුළින් සහනශීලී සුවදායක, ප‍්‍රීතිමත් සහ ප‍්‍රියජනක ජීවිතයක් ඔබට ලබා දෙනවා.
විසඳුම් සොයා ගත නොහැකි ගැටලුවකට මැදිව සිත් වේදනා විඳින, එහි අතුරු ඵලයක් ලෙස මානසික පීඩාවන්ට ගොදුරු වූ අය සඳහා ද උපදේශනය අත්‍යාවශ්‍යයි.
ඔබේ ගැටලුවට කිසිම පිළිතුරක් නැතැයි සිතා සියදිවි නසා ගැනීමට උත්සාහ දරන එසේ සිතන අය සඳහාත් උපදේශනය අත්‍යවශ්‍යයි. උපදේශනය මගින් ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරනවා.
උපදේශනය ලබා ගත යුත්තේ කා වෙතින්ද?
තමන් උපදේශනය වෙත යොමු වනු ලබන මනෝ විද්‍යාත්මක උපදේශකවරයා හෝ උපදේශකවරිය ඒ සඳහා වෘත්තිය සුදුසුකම් ලත් පළ පුරුදු පුද්ගලයෙක්ද යන්න සොයා බැලීම ඉතා වැදගත් කරුණක්.
වෘත්තීය සුදුසුකම් නොලත් අධ්‍යාපන සුදුසුකම් නොමැති බොහෝදෙනෙක් උපදේශන කාර්යයෙහි නියැලෙන බැවින් ඔවුන් පිළිබඳ නිසි ලෙස සොයා බලා උපදේශනයට යොමු විය යුතු වෙනවා.
එසේ නොවූ විට එය පවතින ගැටලු වලට පරිබාහිරව තවත් ගැටලු නිර්මාණය විය හැකියි.
තම ගැටලු සහ සිත් තැවුල් හෙළි කරීමට ඇති ලැජ්ජාවත් බියත් නිසා බොහෝ දෙනෙක් උපදේශනයට යොමු වීමට මැලිකමක් දක්වන අතර නිරන්තර පීඩාවන්ගෙන් කල්ගෙවනවා.
මානසික ආතතිය යනු කුමක්ද?
මනෝ විද්‍යාවේ දී අප මානසික රෝගාබාධ ප‍්‍රධාන කොටස් 02 කට වර්ගීකරණය කොට දක්වනවා.
ඒ නියුරෝෂීය රෝගාබාධ සහ සයිකෝමය රෝගාබාධ නමින් ඉන් මානසික ආතතිය අයත්වන්නේ නියුරෝෂිය රෝගාබාධ ගණයටයි.
ඉතා සරලව හැඳින්වුවහොත් මානසික ආතතිය යනු අපගේ යහපත් දිවි පැවැත්මට අනතුරුදායක සහ තර්ජනයක් විය හැකි අප අත්දකින අප‍්‍රසන්නකාරි අමිහිරි මානසික තත්ත්වයක් ලෙස හදුන්වන්න පුළුවන්.
ඇතැමුන් මෙම පීඩාකාරී තත්ත්වයන්, අයහපත් චිත්තවේගයන් ආදියට දක්වනු ලබන අයහපත් ප‍්‍රතිචාරයක් ලෙස දක්වන්න පුළුවන්.
මානසික විඩාව අපගේ මනසට මෙන්ම අපගේ සිරුරට ද ප‍්‍රතිචාර දක්වනවා. එමගින් අපගේ මානසික මෙන්ම කායික වෙනස්කම් ද ඇති කරනවා.
මානසික විඩාව සැමවිටම අපව අසහනයට ලක් කරනවා. අපගේ දෛනික ජීවිතය සමබරව නිසි අයුරින් පවත්වාගෙන යෑමට බාධා පමුණුවනවා.
ඉන් අප තුළ ඇති විය යුතු උනන්දුව, උද්යෝගය හීන කරනු ලබනවා මෙන්ම අප මානසිකව වෙහෙසකාරී තත්ත්වයකට ඇද දමනවා.
කායික වශයෙන් ගත් කල , හෘද ස්පන්දනය වේගය වැඩි වීම , මාංශ පේශි තදවීම සහ වේදනා ඇති වීම , අධික ලෙස දහදිය දැමීම, හිතෙහි ඇති වන හිරිගතිය ඇතැම් විට දෑත් වෙව්ලීම , තොළ කට සිඳී යාම, හිසරදය ආදි රෝග ලක්ෂණ අපට දකින්නට පුළුවන්.
මානසික පීඩනට එසේත් නැතහොත් මානසික පීඩාව අප සැමටම පොදු තත්ත්වයක්. අප ජීවිතයේ බොහෝ අවස්ථාවන් වල පීඩාවන්ට ගොදුරු වෙනවා.
අප බොහෝ කාර්ය බහුල වූ අවස්ථාවන වල, යම් කිසි කාර්යයක් ඉටු කිරීමට නිම කිරීමට නිශ්චිත කාල වකවානුවක් පමණක් ඇති විට අපගේ ජීවිතයේ යම් සුවිශේෂී අවස්ථාවක් උදා වූ විට අප නිරායාසයෙන්ම පීඩනයට මුහුණපානවා.
මෙම තත්ත්වය ඇතැම් විට ධනාත්මක විය හැකියි. උදාහරණයක් ලෙස විවාහ දිවියට එළඹීමේදි, නව රැකියාවක් ලැබීමේ දි හදිසි මුදල් ප‍්‍රතිලාභයක් (උදාහරණ ලෙස ලොතරැයි දිනුමක්) ලැබීමේදි අපට ධනාත්මක ආතති තත්ත්වයක් ඇති වන්නට පුළුවන්.
බොහෝ අවස්ථාවල එය එතරම් හානිකර වන්නේ නැහැ. එහෙත් සෘණාත්මක ආතති තත්ත්වයකට මුහුණ දෙද්දී අප එය අත් දකින ආකාරය ඉහත තත්ත්වයට වඩා වෙනස් වන්නට පුළුවන්.
උදාහරණයක් ලෙස ඔබගේ ආයතන ප‍්‍රධානියා ඔබට දොස් නගනවායැයි සිතන්න. පළමු දිනයේ ඔබ එය නොසලකා හරිනවා. එහෙත් දිගින් දිගටම ඔබ නොකඩවාම මෙම තත්ත්වයට මුහුණ පානවා.
එහි දී ඔබ තුළ නිරායාසයෙන්ම සෘණාත්මක මානසික පීඩනයක් (Stress) ගොඩ නැගෙනවා.
දික්කසාදය, පවුලේ සමීපතම පුද්ගලයෙකු මිය යාම, සුව කළ නොහැකි රෝගයක් ඇති බව දැන ගැනීම , රැකියාවේ ගැටලු, කාර්ය බහුලභාවය අප තුළ අධික ලෙස මානසික පීඩනට ඇති කරවන්නට සමත්වෙනවා.
ඇතැම් පුද්ගලයන්, තම පෞරුෂ ආබාධ , තම දුර්වලතා, ශාරීරික දුබලතා හේතුකොට ගෙන පීඩනයට මුහුණපානු ලබන අතර ඇතැමුන් අධික "බිය" නිසා ද පීඩනයට ගොදුරු වෙනවා. උදාහරණ ලෙස ගුවනින් යාම , සර්පයන්ට, සතුරු තර්ජන, ත‍්‍රස්ත උවදුරු දක්වන්න පුළුවන්.
අධික බිය සේම, අධික දුක, අදිය කලබලකාරිත්වය, අධික කෝපය, වෛරය වැනි මානසික තත්ත්වයන් නිසා ද බොහෝ විට මානසික පීඩනය ඇතිවන්න පුළුවන්.
මානසික ආතතිය අපට ඇතැම් විට ධනාත්මන ප‍්‍රතිඵල ගෙන දෙනවා. අපට අපගේ ඉලක්ක කරා යාමට එමගින් ශක්තිය ජනනය කර දෙනු ලබනවා.
අප අනතුරුදායක තත්ත්වයන්ගෙන් මිදීම සඳහා සංඥා ආලෝක නිකුත් කොට ඉන් ගැලවීම සඳහා සංරක්ෂණ කි‍්‍රයාදාමයකට අපව සකස් කරනවා.
එහෙත් දිගින් දිගටම පවතින ආතතිමය තත්ත්වයන් අප කෙරෙහි බලපානු ලබන්නේ සෘණාත්මක ආකාරයෙන්, එමගින් අපව කායික මානසික දෙයාකාරයෙන්ම රෝගී කරවනු ලබන අතර මානසික පීඩනය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් අපට විවිධ ගැටළු රැසකට මුහුණ පාන්නට සිදුවෙනවා.
මනෝ විද්‍යා උපදේශිකා
අරෝෂා මේදිනී පතිරාජ
සකස් කළෙ ගාමිණී සුසන්ත