top of page

මෙලොව එළිය දුටු බිළිඳෙකු හට ලැබෙන කුළුඳුල් පෝෂණීය තිළිණය වනුයේ මව්කිරිය. මෙතෙක් ලොව කිසිදු විද්‍යාගාරයක නිපදවීමට අපොහොසත් වූ මව්කිරි දරුවාට පෝෂණය, ලෙඩ රෝගවලින් ආරක්ෂාව මෙන්ම රැකවරණය ද සපයනු ලබයි. දරුවාට මාස 6ක් යනතුරු මව්කිරි පමණක් ලබා දීම ප්‍රමාණවත්ය. (අඩුම තරමින් ජලයවත් අවශ්‍ය නොවේ.) ඒ මව්කිරි එතරම්ම පරිපුර්ණ ආහාරයක් වන නිසාය. ක්‍රමයෙන් වැඩෙන දරුවාට මාස 6න් පසු මව්කිරි සමඟ අනෙකුත් ආහාර ක්‍රමක්‍රමයෙන්ම හුරු කෙරේ. කිරි ආහාර ශරිරයට අත්‍යවශ්‍ය කාබෝහයිඩ්රේට්, මේද, ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ ලවණ සපිරි ආහාර වන බැවින් දරුවාගේ දෛනික ආහාරවේලට අතිරේක ආහාර හඳුන්වා දෙන විටදී ද කිරි ආහාරවලට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු වේ. එහෙයින් සමබල අහාරවෙලක් මගින් තම නිරෝගි බව පවත්වා ගැනීමට කැමති සියලු දෙනා තම වයසට අනුව නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් කිරි තම දෛනික ආහාරවේලට එක්කර ගැනීම වැදගත් වේ.

 

වගු අංක 1 විවිධ කාණ්ඩ සඳහා දිනකට නිර්දේශිත කිරි ආහාර ප්‍රමාණ (පංගු ගණන)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉහත වගුවේ (වගු අංක 1) විවිධ වයස් කාණ්ඩ සඳහා දිනකට නිර්දේශිත කිරි ආහාර ප්‍රමාණ දැක්වේ.

 

දරුවාට මාස 7 - 9 කාලය තුළදී ඔහුට මව්කිරිවලට අමතරව දිනකට කිරි ආහාර ප්‍රමාණ 1/2 - 1ක ප්‍රමාණයක් ලබා දෙන්න. මාස 9 සිට අවුරුදු 2ක දක්වා දරුවකුට මව්‍කිරිවලට අමතරව දිනකට කිරි ආහාර ප්‍රමාණ 1ක් ලබා දීම ඔහුගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට රුකුලක් වේ. කිරි ආහාර මඟින් දරුවාගේ, දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් සැලකියයුතු කොටසක් ලැබේ. කිරි, මේදය, ශක්තිය, අත්‍යවශ්‍ය මේද අම්ල හා මේද ද්‍රාවී විටමින සඳහා ප්‍රභවයකි. විශේෂයෙන්ම කිරිවල අඩංගු බී -12 විටමිනය ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට මෙන්ම රතු රුධිරානු නිපදවීමට ද වැදගත්ය.

 

කුඩා දරුවන්ට මෙන්ම පාසල් වියේ දරුවන්ට ද කිරි වැදගත් වීමට තවත් හේතුවක් වන්නේ කිරිවල අඩංගු කැල්සියම් හා පොස්පරස්ය. ශාක ආහාර මඟින් ලැබෙන කල්සියම්වලට සාපේක්ෂව, කිරිවල අඩංගු කැල්සියම් සිරුරට පහසුවෙන් අවශෝෂණය වේ. දරුවන්ගේ අස්ථි අවුරුදු 25 - 30 දක්වාම වර්ධනය වෙමින් හා ශක්තිමත් වෙමින් කැල්සියම් තැන්පත්කර ගනියි. මෙම ශීඝ්‍ර වර්ධනයට කිරි ආහාර මඟින් ලැබෙන්නේ මහඟු පිටිවහලක් වේ.

 

මෙම වයසේදී දරුවන්ට ප්‍රධාන ආහාරවේල් අතරට, කෙටි ආහාරවේලක් ලෙස කිරි ආහාර ලබා දීමෙන් ඔවුනට දිවිය පුරාම නිවැරදි ආහාර පුරුදුවලට හුරුකළ හැකිය. පාසල් යන වයසේ බොහෝ දරුවන් පැණි බීම, සෝඩා වැනි කෘත්‍රිම බීම වර්ග හා පාන්, බිස්කට් වැනි බේකරි ආහාරවලට හුරු කිරීම වෙනුවට කිරි වීදුරුවක්, යෝගට් එකක් ආහාරයට ගැනීමට සැලැස්වීමෙන් ඔවුන්ට හොඳ ආහාර පුරුද්දක් ඇතිකළ හැකි වේ. කිරිවල අඩංගු 'ලැක්ටෝස්' සීනි, පැණි බීම වර්ග මෙන් දත් දිරායාම කෙරෙහි බලනොපායි.

 

කුඩා හා යෞවන වියේ පසු වන දරුවන්ට සේම ගර්භනී හා කිරිදෙන මව්වරුන්ටද වැඩි ශක්ති හා පෝෂණ ප්‍රමාණයක් අවශ්‍යය. මෙම කාණ්ඩ සඳහා දිනකට කිරි ආහාර ප්‍රමාණ 2ක් වත් ගත යුතු යැයි නිර්දේශ කරනුයේ ඒ නිසයි. විශේෂයෙන්ම ගර්භනී හා කිරිදෙන මව්වරුන් නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් කැල්සියම් ලබා නොගතහොත් මවගේ අස්ථි තුනී වී දුර්වල විය හැක්කේ මවගේ අස්ථිවල ඇති කැල්සියම් දරුවා සඳහා වැයවන බැවිනි. එහෙත් මෙහිදී වඩාත් ප්‍රතිඵලදායක වනුයේ නැවුම් දියර කිරි සහ ඒ ආශ්‍රයෙන් නිපදවෙන කිරි ආහාර බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය වේ.

නිරෝගී දිවියට - කිරි

කිරි පංගුවක් යනු

* කිරි විදුරු 1ක්

  (මිලි ලීටර 200)

* යෝගට් කෝප්ප 1ක්

* චීස් කැල්ලක් / පෙත්තක්   (අවුන්සයක් පමණ)

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page