top of page

පවුල් සංස්ථාවේ ඇති වැදගත්කම 

පවුලේ එකමුතු බව දරුවන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනයට ඉතා වැදගත්ය. කුඩා කලදී ගොඩනැගෙන ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඉදිරි ජීවිත කාලය පුරාම දැඩි බලපෑමක් ඇති කරවීමට හේතුවිය හැකිය. දරුවෙකුගේ මානසික සෞඛ්‍ය වර්ධනය නිසිලෙස සිදු නොවීම නිසා විවිධාකාර මානසික රෝගි තත්වයන් ඇතිවිය හැකි ය. එසේ ඇතිවන ගැටලුකාරී තත්වයන් හේතුවෙන් පෞර්ෂත්ව ප්‍රශ්න, චර්යාමය ප්‍රශ්න, මානසික ආතතිය, කාංසාව, විෂාදය ආදිය ප්‍රධාන වශයෙන් ඇතිවීමට ඉඩ ඇත. කෙසේ වෙතත් මෙම ගැටළු සඳහා හේතුවන්නේ දෙමාපියන් දරුවන් අතර ජානමය වශයෙන් ඇතිවන ගැටළු නොවන අතර සමහර අවස්ථාවල ජානමය ගැටළු නිසාත් විවිධ මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිය.

 

දරුවන්ගේ මානාසික සෞඛ්‍යය කෙරෙහි දෙමාපිය චර්යාව කොතෙක් දුරට බලපාන්නේද?

අද වනවිට සමාජය ඉතා වේගයෙන් සංකීර්ණත්වයට පත්වී ඇත. තාක්ෂණයද ඒ සදහා දැඩි බලපෑමක් ඇති කරයි. ඒ නිසා වර්තමානයේ දෙමාපියන් වී සිටින අය විසින් තමාගේ ළමා කාලය මෙන් මේ කලසීමාව වෙනස් බව තේරුම් ගත යුතු ය. මේ නිසා තමාගේ දරුවන් සමග ගත කරන කාලසීමාව ඉතා සුපරික්ෂාකරිව සිදුකල යුතුව ඇත. මෙහිදී දරුවන්ගේ මානසික සෞඛ්‍යය සඳහා දැඩි ලෙස බලපෑම් ඇති කරන සාධකයක් ලෙස දෙමාපියන්ගේ හැසිරීම හැදින්විය හැකි. යම් දරුවෙකු හැදී වැඩෙන විට පරිසරයේ තිබෙන දේ පිලිබඳව නිරීක්ෂණය කිරීම, සවන්දීම ආදී දේ හරහා තමාගේ ජීවිතය ගොඩනඟා ගනු ලැබේ. එහිදී මුලිකවම ඔවුන් නිරාවරණය වන්නේ නිවස තුල තිබෙන පරිසරයටයි. එම පරිසරය තුල ඔවුන්ගේ ප්‍රධාන ආදර්ශය වන්නේ දෙමාපියන්ය. මේ නිසා දෙමාපියන් එම පරිසරයේදී දරුවන්ට ලබා දෙන මෙම උත්තේජන දරුවාගේ මුළු ජීවිතයටම බලපානු ඇත.

විවිධ රෝගවලට ගොදුරු වුවන් පවසන්නේ තමා කුඩා කාලයේදී තම දෙමාපියන් හැසිරුණු අන්දම, තමාට සැලකූ ආකාරය තමාගේ මනසට ඇති කල පිඩාව නිසා එවැනි රෝග වලට ගොදුරූ වූ බවය. විශේෂයෙන් දෙමාපියන්ගේ චර්යා රටාවන් අතරින් පියවරුන්ගේ බීමත්කම මුල් තැනක් ගනී. මෙසේ බිමත් අයෙකු නිවස තුළ ඇති කරන විවිධාකාර ක්‍රියාවන් සහ වචන නිසා දරුවන්ට දැඩි මානසික ආතතියක් ඇති කරවයි. මෙසේ ඔවුන්ගේ සිත් තුළ ඇතිවන මානසික ආතතිය තත්වයන් මුල් වූ භිතිකාවන් ඉතා දැඩි ලෙසට වර්ධනය වේ. මෙහි ප්‍රතිපල ලෙසට පෞර්ෂත්ව ප්‍රශ්න, චර්යාමය ගැටළු, අදීය ඇති වේ. මෙම ගැටළු. ක්ෂණිකව ඇති වනවා මෙන්ම ජීවිතයේ පසුකාලීනව බලපාන බරපතළ ගැටළු විය හැකිය.විශේෂයෙන් ඉහත පැහැදිලි කළ අවස්ථාවට අනුව දරුවන් පියවරුන් කෙරෙහි දක්වන ආකල්පමය වෙනස්කම් හට ගත හැකිය.

 

විවිධ මානසික අර්බුදවලට මුහුණ දුන් දරුවන්ගේ දැකගත හැකි ලක්‍ෂණ 

මෙම දරුවන්ගේ ඉගෙනීම අඩාල වීම, මුරණ්ඩු වීම, අපේක්ෂා භංගත්වය, විවිධාකාර චර්යාමය ගැටළු, විශාදයට ගොදුරු වීම බහුලව දැකගත හැකිවේ. ඇතැම් අවස්ථාවන් වලදී ලැජ්ජාවට පත් වන සිදුවීම් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම බලපෑම් ඇති කරවිය හැකිය. මේ ඔස්සේ ගොඩනැගෙන ආකල්ප දරුවන්ගේ ඉදිරි ජීවිතයට දැඩි ලෙසට බලපෑම් ඇතිකර විය හැකිය.

 

දෙමාපියන් දරුවන් කෙරෙහි දක්වන ආකල්ප දරුවන්ගේ මානසිකත්වයට බලපාන්න්නේ කෙසේද?

දරුවන් යනු කරදරකාරයින්, අපි හැදුන්නේ මෙහෙමයි. අපිට කවුරුත් කියා දුන්නේ නැ. අපි කල්පනා කරලා තමයි හැදුනේ, වැනි වැඩිහිටියන් දරන ආකල්ප දරුවන්ට දැඩි ලෙසට බලපෑම් ඇති කරයි. ඒ වගේම දරුවෙකු නිතර දෙමාපියන්ගේ ආදරය, ආරක්ෂාව, බලාපොරොත්තු වේ. නිවසට දෙමාපියන් එනතුරු දරුවන් සිටින්නේ ඇඟිලි ගනිමිනි. ඊට හේතුව ඔවුන්ගේ මානසික හා කායික අවශ්‍යතා සමුහයක්ම තම දෙමපියන්ගෙන් ලබා ගැනීමට ඔවුන් මඟබලා සිටීමයි. මේ නිසා දෙමාපියන් හැකි සෑම විටම තම දරුවන් සමග කාලය ගත කල යුතය. ඒ වාගේම ඔවුන්ගේ අඩුපාඩු නැති කර ගැනීමට උපකාරී වීම, දක්ෂතා ඇගයීම, ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම, දරුවන් සමඟ කථා කිරීම, උදව් දීම, තමන්ට හැකි පමණින් ඔවුන්ගේ බුද්ධි වර්ධනයට උපකාරී වීම වැනි කරුණු රාශියක් මගීන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය නඟා සිටුවීමට හැකි වේ. දරුවෙකුගේ මුල්ම ගුරුවරයා, විරයා, මඟ පෙන්වන්නා, තමාගේ දෙමාපියන් වේ. ඒ නිසා දෙමාපියන්ට ඉතා බරපතල වගකීමක් පැවරේ. දරුවන් විසින් සැමවිටම තම දෙමාපියන්ගේ චර්යාවන් අනුගමනය කිරීමට පුරුදු වේ. එම චර්යාවන් සමාජ විරෝධී එසේත් නැත්තම් අස්වාභාවිකව සිදු වුවහොත් දරුවන්ගෙන් ද බලාපොරොත්තු විය හැක්කේ එම හැසිරීම පමණි.

 

දරුවන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිවැරදිද?

බොහෝ දෙමාපියන් තමාගේ දරුවන්ව ප්‍රසිද්ධියේ විවේචනය කරයි. ඇතැම්විට එය නොසිතා කරන දෙයක් වුවත් දරුවන්ගේ මානසිකත්වයට එමගීන් දැඩි බලපෑමක් එල්ල කරයි. ඒ නිසා දෙමාපියන් විසින් එසේ සිදු නොකළ යුතු අතර ඔවුන්ව අන් අය ඉදිරියේ අගය කල යුතුය.ඒ වගේම ඔවුන්ට කුඩා කල සිටම යම් යම් වගකීම් දැරීම තමාගේ වැඩ තමාටම කරගැනීමට ඉඩදීම, තීරණ ගැනීම. නිර්මාණ කරණය සඳහා උනන්දු කල යුතුයි. එසේ නොකිරීමෙන් එම දරුවන්ට පෞරුෂත්ව ගැටළු, බුද්ධි වර්ධනය පිලිබඳ ගැටළු, මානසික සෞඛ්‍ය ගැටළු ආදියට පසුකාලීනව ගොදුරු වේ. විශේෂයෙන් දෙමාපියන් තමාගේ දරුවන්ට හැකි තරම් ආදර්ශමත් වන ලෙස තම ජීවිතය ගත කිරීමට සැලකිලිමත් විය යුතුය. ඊට හේතුව තමාගේ දරුවන් ද නිරන්තරයෙන් දෙමාපියන් අනුගමනය කිරීමට පෙළඹෙන බැවිනි.

 

 

දැයේ මල් කැකුළු රැකගනිමු.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page