
“මේ දරුවා හැමදාම ලෙඩින් කොච්චර බෙහෙත් ගත්තත් ලෙඩ අඩුවෙන්නෙම නැහැ මොනව කරන්න ද මන්ද? බෙහෙත්වලට යන වියදමයි බෙහෙත් පොවන්න තියෙන කරදරෙයි බැලුවම එපාවෙලා තියෙන්නෙ.”
මේ අම්ම කෙනෙක්ගෙ මුවින් පිටවෙච්ච වදන් කීපයක්, ඇත්තටම දරුවො ලෙඩ වෙන්නෙ ඇයි, මෙච්චර බෙහෙත්වලට වියදම් කරන්න වෙන්නෙ ඇයි? කියල අහන්න අපි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා හමු වුණා. දරුවන් ලෙඩ වෙන්නෙ කොහොමද? යන පැනයට ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පිළිතුරු ලබා දුන්නේ මෙසේයි.
දරුවන් ලෙඩ වෙන්නෙ මූලිකවම බලපාන ප්‍රධාන සාධකය වෙන්නේ දරුවන්ගේ ප්‍රතිශක්තිය හීන වීමයි. ප්‍රතිශක්තිය කියන්නේ දරුවන් රෝගවලට දක්වන ප්‍රතිරෝධයයි. දරුවා කුඩා කල සිටම නිසි පෝෂණයකින් වැඩෙනවා නම් දරුවාගේ ප්‍රතිශක්තිය ඉතා හොඳ මට්ටමක තිබෙනවා.
හොඳ පෝෂණයක් දරුවාට ලබාදෙන්න වැඩි වියදමක් දැරිය යුතු නැහැ. විශේෂයෙන්ම වැඩි මිල සහිත කෘත්‍රිම ආහාරවලින් මේ නිසි පෝෂණය දරුවාට ලැබෙන්නේ නැහැ. වඩාත් වැදගත් වෙන්නේ ඉතා අඩු මිල සහිත ගෙවත්තෙන් හෝ වටපිටාවෙන් ලබාගත හැකි ගුණාත්මක ආහාර හඳුනාගෙන ඒවා දරුවාට ලබා දීමයි.
දරුවාගේ කුඩා කල පෝෂණය දරුවා හැදී වැඩී ලොකු මහත්වත්දීත්, දරුවාගේ ජීවිතය පුරාවටම බලපාන සාධකයක් වෙනවා.&&නිසි පෝෂණය නොමැතිකමින් මන්ද පෝෂණය තත්ත්වය ඇති වෙනවා. මේ මන්දපෝෂණය නිසා, විටමින් අඩු වීමෙන් දරුවා රෝගවලට ඔරොත්තු නොදෙන තත්ත්වයට පත් වෙනවා. ශාරීරික වර්ධනයට මෙන්ම මානසික වර්ධනයට ද දරුවාගේ පෝෂණ තත්ත්වය බලපානවා.
පෝෂණය ලබාදීම සඳහා දරුවාට සත්ත්ව ආහාර ලබාදිය යුතු යැයි යන්න බොරුවක්. සත්ත්ව ආහාරවල ඇති ඕ12 හැර අනික් සියලුම පෝෂ්‍ය පදාර්ථ වෙනත් එළවළු, පලතුරු, ධාන්‍ය මඟින් ලබාගත හැකියි. එමෙන්ම වැඩිපුර මුදල් වියදම් නොකොට පෝෂ්‍යදායී ආහාර ලබා ගත හැකියි.
ප්‍රෝටීන් ඌනතාව අද ළමයින් අතර බහුලව දැකිය හැකියි. මේ නිසා ඇතිවන ප්‍රතිශක්තිකරණ හීනතාවයේ ප්‍රතිඵල ලෙස දරුවගේ ශරීරය ඉදිමීම වැනි සංකූලතා දැකිය හැකියි. විශේෂයෙන් ප්‍රෝටීන් ඌනතාවය නිසා හිමොග්ලොබින් අඩු වීමත් සුදු රුධිරානු අඩු වීමත් නිසා දරුවාගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා.
කිරි, බිත්තර, කඩල, මුං ඇට, පරිප්පු, සෝයා බෝංචි මෙන්ම මස් සහ මාළු ආහාරයට එක්කර ගැනීමෙන් ප්‍රෝටීන් ඌනතාවයට පිළිතුරු සොයාගත හැකියි.
විටමින් “A” අඩුවීම නිසා දරුවාගේ ස්වසන මාර්ගයේ ආසාදන මෙන්ම උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ආහාර මාර්ගයේ ආසාදන අක්ෂි ආබාධ ද ඇතිවිය හැකියි. විටමින් “A” ලබා ගැනීම සඳහා දරුවාට කැරෝටීන් අඩංගු වට්ටක්කා, ගස්ලබු, අඹ වැනි කහ පැහැති එළවළු පලතුරු ලබා දීම කළ යුතු වෙනවා.
මේ කාලයේ දරුවන්ගේ පෝෂණ ඌනතා අතර යකඩ අඩු වීමද ගැටලුවක්ව පවතිනවා. මේ යකඩ අඩුවීම රෝග රැසකට දරුවා නිරාවරණය වීමත් වෙනවා. ගොටුකොළ, කව්පි, මුං ඇට, තම්පලා, නිවිති, බිත්තර කහමදය, සෝයා සහ හාල්මැස්සන්වල යකඩ බහුලව දැකිය හැකියි.
යකඩ අඩංගු ආහාර දරුවාට ලබාදීමේදී එම ආහාර සැකසීමෙන් පසු ඊට දෙහි ස්වල්පයක් එක් කිරීමෙන් දරුවාට යකඩ අවශෝෂණය කර ගැනීම පහසු වෙනවා.
ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම සඳහා විටමින් “B” සහ “C” ද ඉතාමත් වැදගත් වෙනවා. විටමින් “B” සහ “C” අඩුවීමෙන් මුඛරෝග ඇති විය හැකියි. විශේෂයෙන් දරුවාගේ මුඛය වටේ වනවීම වැනි රෝග තත්ත්ව කෙරෙහි විටමින් “B” සහ “C” අඩුවීම බලපානවා. විටමින් “B” තම්බපු සහල්වලත් විටමින් “C” ඇඹුල් සහිත ආහාර වන දෙහි, දොඩම්, අන්නාසි, අඹ, නෙල්ලි වැනි පලතුරුවලත් තිබෙනවා.
මස් මාංශ ආහාරයට නොගන්නා දරුවන් අඩුම තරමින් කිරි වීදුරුවක්වත් පානය කිරීම කළ යුතුයි. ඕ12 ලබා ගැනීම සඳහා ඇති ප්‍රධානතම මාර්ගය සත්ත්ව ආහාර පමණක් වීම මෙයට ප්‍රධානතම හේතුවයි. එසේත් නොමැති නම් ඕ විටමින් පෙති ලබාගත යුතුයි.
සින්ක් අඩංගු ආහාර ද දරුවාගේ පෝෂණයට මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා. මුං ඇට බීජ පැළ කොට මුගුරු ඇදීමට සලස්වා ඒවා ආහාරයට සකසා දීමෙන් සින්ක් ලබාගත හැකියි. විශේෂයෙන්ම මේවා නිවසේදීම වුවත් සාදාගත හැකියි.
කෘත්‍රිම ආහාරවලින් දරුවා ඈත්කර තැබීම ඉතාම වැදගත් වෙනවා. මන්ද පෝෂණය මෙන්ම අධි පෝෂණය නිසා, දියවැඩියාව, ප්‍රෙෂර්, ස්වසන ආබාධ මෙන්ම හෘද රෝග තත්ත්ව පවා ඇතිවිය හැකියි. දරුවා රෝගී නොවී තබා ගැනීමට දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසියාකාරව පවත්වා ගත යුතුයි. ඒ සඳහා දරුවාගේ පෝෂණය ඉතා වැදගත්. මේ නිසා දරුවාට හැමවිටම සමබල ආහාර වේලක් ලබාදීම කළ යුතුයි.